Warna-Color E - Volumes

Warna-Color E - Volumes
Download : warna - volume 1, 2 3, and 4

Saturday, March 19, 2022

හිරු එළිය වෙන්න (Be the Sunshine)



ඇයි මේ තරහා වෙලා,
මූණත් තඩිස්සී කරන් ඇසුත් රතු කරන්.
ඕවා ඔහොම තමයි.
අඬනවා.. හිනා වෙනවා.. තරහා වෙනවා.. යාළු වෙනවා..
ඔක්කොම අපිත් එක්කනේ.
ඒත් මගේ යාළුවා පොඩ්ඩකට හිත රිදුනත්,
තරහා වෙලාම ඉන්න තරම් අපේ ජීවිත දිග නෑ
අමතක කරන්න.. අත හරින්න.. හිනා වෙන්න..
ආදරය දෙන්න සීමා නැතුව,
මොනවා හම්බුනත් ආපිට.
හිරු එළියක් වෙන්න ගනඳුර දුරලන.
හිනා වෙන්න කඳුලු නොදී,
හැමදාම ඉර පායනවා වගේ..

Oh, dear... 
Fought again?
The face becomes pale. Red eyes must be crying all the night
That's how life. Take it easy.
We cry... and smile again. We fight and become friends again.
It's who we are...
But my friend,
Our lives are not long enough to be angry.
Let it go... forgive easily... smile...
Love limitlessly. Expect nothing in return.
Be the sunshine that repels the darkness.
Spread the smile but not the tears.
Like morning sunshine, every day.

Monday, October 5, 2015

Abortion

වත්සුනු සුවඳ කර
ගෙපැළ කිරි දියෙන් දොවා
ඇගිලි ගනිමින් හිදි
උපන්ගෙයිම කළලය සේදී ගිය
"මිනිසෙකුගේ" හැගීමක් දැනේ මට

පාලුවට ගිය කුස පුරා
නිහැඩියාව දරාගෙන
හිස් අහසේ තරු රටා
සීරුවට අඳිනු ලෙස
වේදනාවෙන්ම තියුණු වූ
පැන්සලක් තිබේ මට

Saturday, July 25, 2015

The Artist

වටහාගත හැකි නම් ඔවුන්ගේ හිත තුළ රැඳි වේදනාවේ සුන්දරත්වය
රූප රචනයක් ව දෑස් මානයේ රටා මැවූ
ගේය පදයක් ව කන් පිනවූ
කඩදාසි දහසක ලියා තවද නිම නොකල
ඒ වේදනාව...
අවුරුදු ගණන් පපු කුහර තුළ පදම් වෙවී අමා රස දුන්
ඒ වේදනාව...


Sunday, October 12, 2014

Diary Book Fair 2014 - II

සෙංකොට්ටං පුංචිය. පුංචි පොත් වලට මා කැමතිය. එහෙයින්ම මම පළමු කොට සෙංකොට්ටං කියැවීමි. සෙනසුරාදාට ගෙදර මා තනියමය. නිදාගන්නවා ඇරෙන්න වෙන වැදගත් යමක් කරන්නේ නැත. කිරි කිරි පාටට තිබූ සෙංකොට්ටං පොත ඇද ගත්තේ එක හුස්මට කියැවීමටය. විටෙක මට සෙංකොට්ටං අපූර්ව චිත්‍රපටයක් ලෙස මැවී පෙනින. එහි ආරම්භය, චිත්‍රපටයක ආරම්භය වාගේම ය. මිනිසුන් වයසට යනවා නේදැයි තදබල ලෙසටම හිතට කාවැද්දූ කතාවක් වෙතොත් ඒ සෙංකොට්ටං ය. මම බිය වීමි. ජීවිතයෙන් කාලක් ගෙවා ඇති මම බිය වීමි. දුකම තුරුලු කරගෙන, නිහඬවම දුක් විඳ, නිහඬවම මැරී යන මනුෂ්‍යය ජීවිත කියවා මම මවිත වීමි. කුඩා කල පටන් රූපවාහිනියට ද ඉන් පසු පරිගණකයටද ඇබ්බැහි වූ මා හට එවැනි ජීවිත පෙර අසා දැක ඇත්දැයි හරියටම මතක නැත. තැන තැන රැඳුනු ශෘංගාර රසය ඇඟ රත් කල ද කතාව අවසානයේ සැනසීමට කියා තිබුණේ "ෆෙඩ්‍රිකා" ය. ඇය අපා දුක් විඳි පරම්පරාවට අයිති නැත. මේ කතාව ඇයට හුදෙක් කතාවක්ම මිස අතීතය නෙවේ. මම ඒ ගැන සතුටු වෙමි. "පොඩිනා" ගැන දුක් වෙමි. "බබා හේනයා" ගැන කලකිරෙමි. මට පොඩිනා මැරෙන්න මොහොතකට පෙර විඳි මූසල බයංකාර පාලුව දැනෙන්නට විය. මහා මූකලානක් මැද්දේය; වලහෙක් ගෝරිල්ලෙක් වැනි මිනිහෙක් මැද්දේය; මැරුනත් කම් නැත මෙවැනි තැනක නැතුවැ යැයි මට සිතුනි. "හේනයා" යනු කුණු රෙදි සෝදන කුලයේ පිරිමි වාසගමද, "රිදී" යනු එහි ගැහැනු වාසගමද බව මම දැන ගත්තේ සෙංකොට්ටං තුළිනි. "ගොයි ගම" යනු එකල ප්‍රබල කුලයක් බවද දැන ගත්තේ ද සෙංකොට්ටං කියැ වූ පසුය. මම දන්නා කුළයක් මලයක් නැත. එහෙත් මම ගොවිකම ඉතා ඉහළ කොට සළකමි. "ලෙන්චිනා මගේ නංගියේ..." ගීතයේ තේරුම මම දැන් දනිමි. "මානව සංහතියේ නෙක නෙක කිලිටි කෙලෙසුන් ස්වකීය දෑත්වලින් සුදෝ-සුදට පවිත්‍ර කර දී හිස් දෑත් බදාගෙන හිතේ මොනව දෝ හිර කර ගෙන නිහඬ ව ම මිය පරලෙව ගිය ඒ උසස් මිනිස් වර්ගයාට භක්ත්‍යාදරයෙන් කෙරෙන උත්තමාචාරය මෙසේ සලකුණු වන්නේ ය..." මම පිදුම උපුටා දක්වමි.

අමිත් චින්තක 2014/09/21

Diary Book Fair 2014

මම නැවතත් ලියමි. මිනිසා යනු ප්‍රතිපත්තිගරුක අයෙකුට වඩා ඉළයක් ගියත් තම පුරුදු අත නොහරින්නෙකු බව ඉවෙන් මෙන් මම කුඩා කල සිටම දැන සිටියෙමි. මම අද ද ප්‍රතිපත්තියක් නැත්තෙක්මි. මා හට අත් නොහළ හැකි පුරුදු ඔබ ප්‍රතිපත්ති ලෙස දකින්නේ නම්, ඔව් මම ප්‍රතිපත්තිගරුක ඇත්තෙක්මි. ගියවර පොත් ප්‍රදර්ශනය මගහැරුනු මා මෙවර ගියේ පවුලේ සැමද කැටුවය. වැඩිහරියක් නංගිට පොත් ගැනීමටය. "නංගී" යන වචනය මට නුහුරුය නුපුරුදුය. ඒ කුඩා කල සිටම තවමත් ඈ "චූටි බබා" නිසාවෙනි. අපේ තාත්තාට අනූව නම් "සූටි බබා" ය. මෙවර පොත් ගොන්න අතර පරිවර්ථන නැත, රුසියන් සාහිත්‍යය නැත, බොළඳ වීර කතාද නැත. දෙදෙනාම සිංහල සාහිත්‍යය පෝෂණය කරමින් අප දන්නා හඳුනන සමාජ වපසරිය ගැන කතා ලියන කතුවරුන්ය. මක්සිම් ගෝර්කිගේ "අම්මා" තවමත් කියවා නැති මා සන්නස්ගල ගේ "අම්මා" අතට ගත්තේ අපේ අම්මා ගැන කෙදිනක කියවනවාද යන බැරෑරුම් ප්‍රශ්නයද අතැතිවය. මේ ලෝකය ගැන විචාරයක් නැති මට එය ඉතා අසීරු කටයුත්තක් වනු නොඅනුමානය. George R. R. Martin විසින් රචිත ඉංගිරීසි ග්‍රන්ථයක් පොරොත්තු ලේඛණයේ තවමත් තිබියදී මගේ විශාරද ඉංගිරීසි ඥාණයට පිං සිද්ධ වීමට ඒ කාර්යය සැමදා කල් දමන්නේ එය කියවීමට තවත් විශාල පොතක සහාය ලබාගත යුතු වීම නිසාවෙනි. දැන් තිබෙන ප්‍රශ්නය ඔය කිසිවක් නොවේ. දහදොළොස් වරක් නම කියවුවද මතක තබාගැනීමට අපහසු "හක්ගෙඩි දෙකේ සහ පංච බෙල්ලාගේ" අවවාදය රැගත් "සෙංකොට්ටං" පළමුව කියවනවාද නැතහොත් සන්නස්ගලයන්ගේ "ආදරයේ මාහාවංශය" කියවනවාද යන්නයි.

අමිත් චින්තක 2014/09/14

Thursday, June 19, 2014

End Note

Warna - Color is almost finished it's duty. The posts which had been posted is quite enough according to me. Other than that my mind is empty or saturated as there is nothing to say anymore. But there is only one story which I didn't pots as a promise I made.
The four colours of warna is end. There won't any posts for a long time. Thank you all for enjoying the blog.

Sunday, December 1, 2013

වස්තුව

වස්තුව නැති බැවින්
රැක ගැනීමට යමක් නැතිවා සේම
බියවීමටද කාරණයක් නොමැත

වස්තුව නැති බැවින්
ආඩම්බර වීමට කරුණක් නැතිවා සේම
භුක්ති විඳීමටද කිසිවක් නොමැත