මම නැවතත් ලියමි. මිනිසා යනු ප්‍රතිපත්තිගරුක අයෙකුට වඩා ඉළයක් ගියත් තම පුරුදු අත නොහරින්නෙකු බව ඉවෙන් මෙන් මම කුඩා කල සිටම දැන සිටියෙමි. මම අද ද ප්‍රතිපත්තියක් නැත්තෙක්මි. මා හට අත් නොහළ හැකි පුරුදු ඔබ ප්‍රතිපත්ති ලෙස දකින්නේ නම්, ඔව් මම ප්‍රතිපත්තිගරුක ඇත්තෙක්මි. ගියවර පොත් ප්‍රදර්ශනය මගහැරුනු මා මෙවර ගියේ පවුලේ සැමද කැටුවය. වැඩිහරියක් නංගිට පොත් ගැනීමටය. "නංගී" යන වචනය මට නුහුරුය නුපුරුදුය. ඒ කුඩා කල සිටම තවමත් ඈ "චූටි බබා" නිසාවෙනි. අපේ තාත්තාට අනූව නම් "සූටි බබා" ය. මෙවර පොත් ගොන්න අතර පරිවර්ථන නැත, රුසියන් සාහිත්‍යය නැත, බොළඳ වීර කතාද නැත. දෙදෙනාම සිංහල සාහිත්‍යය පෝෂණය කරමින් අප දන්නා හඳුනන සමාජ වපසරිය ගැන කතා ලියන කතුවරුන්ය. මක්සිම් ගෝර්කිගේ "අම්මා" තවමත් කියවා නැති මා සන්නස්ගල ගේ "අම්මා" අතට ගත්තේ අපේ අම්මා ගැන කෙදිනක කියවනවාද යන බැරෑරුම් ප්‍රශ්නයද අතැතිවය. මේ ලෝකය ගැන විචාරයක් නැති මට එය ඉතා අසීරු කටයුත්තක් වනු නොඅනුමානය. George R. R. Martin විසින් රචිත ඉංගිරීසි ග්‍රන්ථයක් පොරොත්තු ලේඛණයේ තවමත් තිබියදී මගේ විශාරද ඉංගිරීසි ඥාණයට පිං සිද්ධ වීමට ඒ කාර්යය සැමදා කල් දමන්නේ එය කියවීමට තවත් විශාල පොතක සහාය ලබාගත යුතු වීම නිසාවෙනි. දැන් තිබෙන ප්‍රශ්නය ඔය කිසිවක් නොවේ. දහදොළොස් වරක් නම කියවුවද මතක තබාගැනීමට අපහසු "හක්ගෙඩි දෙකේ සහ පංච බෙල්ලාගේ" අවවාදය රැගත් "සෙංකොට්ටං" පළමුව කියවනවාද නැතහොත් සන්නස්ගලයන්ගේ "ආදරයේ මාහාවංශය" කියවනවාද යන්නයි.
අමිත් චින්තක 2014/09/14
No comments:
Post a Comment