සෙංකොට්ටං පුංචිය. පුංචි පොත් වලට මා කැමතිය. එහෙයින්ම මම පළමු කොට සෙංකොට්ටං කියැවීමි. සෙනසුරාදාට ගෙදර මා තනියමය. නිදාගන්නවා ඇරෙන්න වෙන වැදගත් යමක් කරන්නේ නැත. කිරි කිරි පාටට තිබූ සෙංකොට්ටං පොත ඇද ගත්තේ එක හුස්මට කියැවීමටය. විටෙක මට සෙංකොට්ටං අපූර්ව චිත්‍රපටයක් ලෙස මැවී පෙනින. එහි ආරම්භය, චිත්‍රපටයක ආරම්භය වාගේම ය. මිනිසුන් වයසට යනවා නේදැයි තදබල ලෙසටම හිතට කාවැද්දූ කතාවක් වෙතොත් ඒ සෙංකොට්ටං ය. මම බිය වීමි. ජීවිතයෙන් කාලක් ගෙවා ඇති මම බිය වීමි. දුකම තුරුලු කරගෙන, නිහඬවම දුක් විඳ, නිහඬවම මැරී යන මනුෂ්‍යය ජීවිත කියවා මම මවිත වීමි. කුඩා කල පටන් රූපවාහිනියට ද ඉන් පසු පරිගණකයටද ඇබ්බැහි වූ මා හට එවැනි ජීවිත පෙර අසා දැක ඇත්දැයි හරියටම මතක නැත. තැන තැන රැඳුනු ශෘංගාර රසය ඇඟ රත් කල ද කතාව අවසානයේ සැනසීමට කියා තිබුණේ "ෆෙඩ්රිකා" ය. ඇය අපා දුක් විඳි පරම්පරාවට අයිති නැත. මේ කතාව ඇයට හුදෙක් කතාවක්ම මිස අතීතය නෙවේ. මම ඒ ගැන සතුටු වෙමි. "පොඩිනා" ගැන දුක් වෙමි. "බබා හේනයා" ගැන කලකිරෙමි. මට පොඩිනා මැරෙන්න මොහොතකට පෙර විඳි මූසල බයංකාර පාලුව දැනෙන්නට විය. මහා මූකලානක් මැද්දේය; වලහෙක් ගෝරිල්ලෙක් වැනි මිනිහෙක් මැද්දේය; මැරුනත් කම් නැත මෙවැනි තැනක නැතුවැ යැයි මට සිතුනි. "හේනයා" යනු කුණු රෙදි සෝදන කුලයේ පිරිමි වාසගමද, "රිදී" යනු එහි ගැහැනු වාසගමද බව මම දැන ගත්තේ සෙංකොට්ටං තුළිනි. "ගොයි ගම" යනු එකල ප්‍රබල කුලයක් බවද දැන ගත්තේ ද සෙංකොට්ටං කියැ වූ පසුය. මම දන්නා කුළයක් මලයක් නැත. එහෙත් මම ගොවිකම ඉතා ඉහළ කොට සළකමි. "ලෙන්චිනා මගේ නංගියේ..." ගීතයේ තේරුම මම දැන් දනිමි. "මානව සංහතියේ නෙක නෙක කිලිටි කෙලෙසුන් ස්වකීය දෑත්වලින් සුදෝ-සුදට පවිත්‍ර කර දී හිස් දෑත් බදාගෙන හිතේ මොනව දෝ හිර කර ගෙන නිහඬ ව ම මිය පරලෙව ගිය ඒ උසස් මිනිස් වර්ගයාට භක්ත්‍යාදරයෙන් කෙරෙන උත්තමාචාරය මෙසේ සලකුණු වන්නේ ය..." මම පිදුම උපුටා දක්වමි.
අමිත් චින්තක 2014/09/21