වර්ණ
අවර්ණ දියෙන් සේදී ගිය
අවර්ණ දියෙන් සේදී ගිය
දුක් දොම්නස්
තෙරක් නොමැති ගන'ඳුර වෙලා ගත්
බලාපොරොත්තු කඩවීම් වීසිකර
දම් පාට හැන්දෑවක
ඔබේ අතැ'ඟිලි වල පහසින් වෙලී
රක්ත වර්ණ සූර්යයා මැවූ
චමත්කාර රටා පැදුර යටට වී
තරු දහසක් පෑයූ අහසක් ගැන සිහින දැක්කෙමි
ගතවන මොහොතක් පාසා
පින්සල් තුඩ'ඟින් වැගිරුණු තීන්ත බිඳු
නිදහස් අහසක් උදෙසා
රූරා වැටුණු හැටි
දහඩිය බිඳු පරයා
දිලෙන්නට වෙර දැරූ හැටි
දුහුවිල්ලෙන් නැහැවුණු වත
කර්කශ මහ පොලොව සමඟ ඔට්ටු වෙවී
සෞභාග්‍යය නෙලාදුන් හැටි
කෙතරම් අපූරුද
ඒ සෞභාග්‍යය විඳින්නට
එරබදු මලින් ගැවසී ගත් අලංකාර උදයක
ශ්වේත වර්ණයෙන් පාරිශුද්ධ වූ සිත්
ඈත වඩිනා කහ පෙරහැර දැක
සාදුකාර දෙන්නට විය
මේ දැනෙන සිහිල් මදනල
එක්ව නැගී සිටින කඳු වළල්ල
අත්වැල් බැඳ සිටිනා නිල් තුරු ගොමු
මීට වඩා උරුමයක් මට කොයින්ද
හැඟීම් මාලාවටම උචිත වූ වර්ණ මාලාවකින්
හදවතේ මැවෙනා චිත්‍ර
විඳින්නට දකින්නට
හැම හැඟීමක් සමඟම කැළති කැළතී
හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වූ
මිනිස්කමේ වර්ණය දිගහරින්නට
අවසරයි...
by amith chinthaka - July 6th 2011
The Beginning