ම්! තනුව වෙනස් වෙලා. සුළඟ, ඔබ අමුතුම තනුවක් වයන්නේ…
ඔව් මම දන්නවා… මම දන්නවා… ඔබ තුෂාරය ගැන නේද කියන්නේ
තුෂාරය… තුෂාරය…
තුන් මසක් පුරා අප මලානික කරන තුෂාරය… නැවත ඇවිත්
තුෂාරයේ අණසකින් පිබිදුන ධවල කන්‍යාව මිහිකත මත රිදී සුනු විසුරුවන්නට විය. වාතය කළඹවා සුළගේ තනුව වෙනස් කරන්නට විය. තෙදවත් හිරුද වසාලමින් අන්ධකාර සෙවනැලි මතු කරන්නට විය. සියලු වර්ණයෝ පුරා තුෂාර සුනු ඉහිරවමින් තම දයා විරහිත ධවල වර්ණය පමණක් ඉතිරි කලාය.
දැන් මෙය කලු සුදු ලෝකයකි. වෙනදා ලීලෝපේතව නේකවිධ වර්ණයන්ගෙන් සැදුම් ලත් කබායක් පෙරවූ මිහිකත අද අවමඟුලකට සැරසී ඇත.
ඇගේ සුසුමන් වේදනා බරය, දෙකොපුල් මත කඳුළු කැට රූරා වැටුනේද නැත. ඒවා නිසලය, දීප්තිමත්ය, ඝනය. නග්න වූ අතු රිකිලි දරා සිටි ගස් මත පතිත වූ තුෂාර සුනු එක්තරා මිනිසෙකුගේ ජීවන පැතිකඩක් කියාපායි.
ඔහු කවුරුන්ද, බලාපොරොත්තු වලින් තොරවූ ඔහු කවරෙක්ද, සීතල හීනයක් දකිමින් සිටි ඔහුට බලාපොරොත්තු ඉපැද්දුවේ, ජීවිතයට උණුසුමක් ගෙනාවේ කවරෙක්ද,
ඒ ඇයමද… ඔව්! ඒ ඇයමයි… තුෂාරය පුරා සුවඳ විහිද වූ තුෂාර වර්ණයට නිගා කල අංග සම්පූර්ණ ඇය…
සීතල අතරින් උණුසුම දැනෙද්දී විවර වූ ඔහුගේ මලානික දෙනුවන් දුටුවේ මේ සුරූපිනියමද,
දැන් ඔහුද වසන්තය සේ ප්‍රබෝධමත්ය, ගිම්හානය සේ උණුසුම්ය, තම ජීවිතය වෙලා සිටි ඝනඳුර දැන් දුරු වී ගොස්ය.
එක තුෂර බිදුවක් හෝ එක සුළං පොදක් හෝ එක බඹරෙකුට හෝ ලං වෙන්නට නොදී මැය රැක ගත යුතුය.
පිණි වැටුනොත් ඔබෙ වත මැල වේවී
හිම වැටුනොත් ඔබෙ රුව නැති වේවී
විසකුරු බඹරිඳු ඔබ රිද් දාවී
කුමරෙක් දැන් ඔබ රැකුමට ඒවී
මේ කුමරාගේ ප්‍රේම කතාව මෙතකින් ඉවර වීද?
මිහිකත ඇයි ඔබ සුදු වතින් සැරසිලා, ඔබෙ වත මැලවිලා, සීතල කඳුළු කැට ඔබෙ දෙකොපුල් හැඩ කරලා, ඒ මදිවට ඔබේ මුවේ සිනා රැල්ලක්, මට ඔබව වටහා ගන්න බැහැ කුමක්ද සිදුවී තිබෙන්නේ,
අපේ ආදර කතාවෙ ඉතුරු ටික…
ඔව් මට තේරෙනවා ඒ කුරිරු කම නැවත සිදුවෙලා. කවුද ඔහු, තුෂාරයේ වර්ණය වෙනස් කල ඔහු කවුද, ඔහු දන්නෙ නැද්ද තුෂාරයේ කුරිරු කම ගැන, ඔහු දන්නෙ නැද්ද තුෂාරයට අයිති කලු සුදු පමණක් බව, කවුද ඔහු…
තුෂාරයේ නීති රාමුවෙන් පිටට පිනූ ඔහු කවරෙක්ද?
ඔහු දන්නෙ නැද්ද, ඔහු දන්නෙ නැද්ද රුධිරයත් අවසානයේ කලු වන බව,
කවුද මේ ආදරවන්තයෙක්ද
විප්ලවකාරයෙක්ද
එහෙමත් නැත්නම් මෝඩයෙක්ද අසරණයෙක්ද
නැහැ යාලුවා ඔබට වැරදිලා
ඔව්! අද මම මේ කතාව කිව යුතුමයි. ඔහු වෙනුවෙන් මේ කතාව කිව යුතුමයි.
ඔහු සුදත්ත, බලාපොරොත්තු වලින් තොර වූ මහලු උයන් පල්ලා. තමන් වෙනුවෙන් තුෂාරයේ පවා පිබිදුනු, තුෂාරයේ පවා උණුසුම ලබා දුන්, අවසානයේදී ජීවන සුවඳ ලබා දුන් ඒ එකම සුරූපිනිය, තුෂාරය පුරා උයන් පල්ලෙකුගේ උයනක පිබිදී දසත සුවඳ වත් කල ඒ නෙලුම…
පුෂ්පයෝද බොහෝ වෙති, එහෙත් ඇය වැන්නියක් නොමැත. ආදරවන්තයෝද බොහෝ වෙති, එහෙත් ඔහු වැන්නෙක් නොමැත. ආදර කතාද බොහෝ වෙති, ඒත් මෙවැන්නක් නොමැත.
ඔහු වීර්යයවන්තයෙකි
තුෂාරය පුරා එකම එක තුෂාර බිඳුවක් මල් පෙති මත පතිත නොවීමට දුන්
ඔහු ධනවන්තයෙකි
තුෂාරය පුරා ආදරය, උණුසුම ඉපැයූ
ඔහු විප්ලවවාදියෙකි
තුෂාරයේ අසාධාරණ නීති රාමුව සුනු විසුනු කල
ඔහු ආදරවන්තයෙකි
තමාටත් වඩා තම එකම බලාපොරොත්තුවට ආදරය කල
ඔහු මනුෂ්‍යයෙකි
මනුෂ්‍යත්වයේ නාමයට උත්තරීතරත්වයක් ගෞරවයක් එක් කල
අවසානයේ සුදත්ත ජය ගත්තා. ඔහුගේ අවසන් හුස්ම පොද පවා නෙලුමට උණුසුමක් දීම ගැන සුදත්ත සතුටු වන්නට ඇති. ඔහුගේ ලෙය තුෂාර වර්ණයේ අණසකට යටත් නොවන්නේය. මේ මලේ නියම හිමිකරුවා ඔහුයි.
ඒත් දැන්…
නැහැ! ඔහු ගියා… යන්නට ගියා… ඔහුට උරුම සිහිනය, ආදරය, අරගෙන.
ඔහු තමයි ආදරයට අමරණීයත්වයක් එක් කල මිනිසා
තුෂාර වර්ණයට අවමන් කරමින් රතු කැට වැගිර වූ මිනිසා
ඔබ පරාද වුණා… තුෂාර වර්ණය
ඔබ පරාද වුණා…
by amith chinthaka
Feb 6th 2006
Deep
No comments:
Post a Comment